නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් -40ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.