කාවන්තිස්ස හස්තියාට මෙන් සෝචනීය අවසානයක් නොවන්නට අග්බෝ හස්තියා රැක ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා.
ආරක්ෂක අමාත්යාංශයේ පැවසුවේ අග්බෝ හස්තියා සිටින ස්ථානය හඳුනාගැනීමත් පසුව හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙම හමුදා කණ්ඩායමේ අරමුණ බවයි.
අග්බෝ හස්තියාද වෙඩි වැදී තුවාල ලබා සිටින බවට ඊයේ සිට රාවයක් පැතිර යනවා. එසේ තිබියදී පරිසර අමාත්යාංශයේ සහ ආරක්ෂක අමාත්යාංශයේ නිලධාරීන් අතර අද සාකච්ඡාවක් පැවත ඇති අතර අග්බෝ හස්තියා සිටින ස්ථානය හඳුනා ගැනීමටත් පසුව හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හමුදා කණ්ඩායමක් යොදවා ඇත්තේ එහිදී ගත් තීරණයකට අනුවයි.
මේ අතර කෙන්යාව, තායිලන්තය වැනි රටවල වටිනා අලි ඇතුන් රැක ගැනීමට හමුදා කණ්ඩායම් අනුයුක්ත කර සිටින බව නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී සිවිල් ක්රියාකාරික ශර්මිලා රාජපක්ෂ මහත්මිය මීට පෙර පෙන්වා දුන්නා.
කාවන්තිස්ස හස්තියා වෙනුවෙන්ද එලෙස හමුදා කණ්ඩායමක් අනුයුක්ත කරන ලෙස අවස්ථා කිහිපයකදී වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලීම් කළ බවයි එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ.
එහෙත් ඒ සඳහා යහපත් ප්රතිචාර නොලැබුණු බවද ඇය කියා සිටියා.
නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් සිවිල් ක්රියාකාරික ශර්මිලා රාජපක්ෂ මහත්මිය කළ මෙම කරුණු දැක්වීමෙන් පසුවයි අග්බෝ හස්තියා පිළිබඳ සාකච්ඡා කිරීමට පරිසර අමාත්යාංශයේ සහ ආරක්ෂක අමාත්යාංශයේ නිලධාරීන් අද රැස් වී ඇත්තේ.
එහි දී ගත් තීරණයට අනුව ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අග්බෝ හස්තියා වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් හෙද වූ බව ආරක්ෂක අමාත්යාංශය කියා සිටියා.
මේ අතර කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
කිලිනොච්චිය ප්රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් කළ ප්රශ්න කිරීමකදී අමාත්යවරයා මේ බව පැවසුවේ.
ප්රතිකාර කිරීමේදී සිදුවූ අත්වැරැද්දක් කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතු වූ බව ඇතැම් අය පවසනවා.
තවත් කෙනෙකුගේ අදහස වී ඇත්තේ යම් අය දැනුවත්වම කාවන්තිස්ස හස්තිය ඝාතනය කළ බවයි.
මේ සියලු ම සැක පිළිබඳ ඉදිරියේදී කෙරෙන ස්වාධීන විමර්ශනයේදී සලකා බැලුණු ඇතැයි අමාත්යවරයා වැඩිදුරටත් පැවසුවා.



