ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්  සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර කාලගුණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 30-40 දක්වා විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.