බන්ධනාගාරයක් තුළ කේක් කපා පැවැත් වූ සාදයක් බව පවසමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතින විඩියෝව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
අදාළ වීඩියෝව සමග දැක්වෙන විස්තරවල දැක්වුණේ මෙම සිදුවීම ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව හෙවත් මහ සෙල් එක තුළ සිදුව ඇති බවයි.
එම වාට්ටුවේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන හත්තිමුනි නාමල් ශාන්ත හෙවත් ‘පොඩියා’ නමැත්තා එලෙස සිය උපන්දිනය සමරා ඇති බවද සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සමග ඇති විස්තරවල දැක්වුණා.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මොහු, ප්‍රකට පාතාල කල්ලි සාමාජික ‘අහුංගල්ලේ ලොකු පැටී’ ගේ සමීපතමයෙකු බවද එහි දැක්වෙනවා.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් බන්ධනාගාරය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාරය කොමසාරිස් ඒ සී ගජනායක මහතා පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාවක් කැදවීමට පියවර ගත් බවයි. එම වාර්තාව ලැබුණු විගස ඉදිරි පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයෙන් ද සොයා බැලීමක් කළා. එම උපන් දින සාදය මෑතකදී පවත්වන ලද්ද්ක් නොවන බවයි එහිදී තොරතුරු අනාවරණ වුණේ.




