කෙටි කාලයක් තුළ ඇදහැලුණු මහා වැස්සත් සමග ඉකුත්දා කොළඹ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් තවදුරටත් පාර්ශ්ව ගණනාවක් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
මෙම ජලගැලීම පිළිබඳ වාර්තා කරමින් නෙත් නිව්ස් මුල් අවස්ථාවේදීම පෙන්වා දුන්නේ ස්වභාවිකව ජලය බැස යන මාර්ග ගොඩකිරීම, ඇල මාර්ග සහ කානු පද්ධති අවහිරවීම සහ අප ජල ප්‍රවාහන නල නිසි ලෙස නඩත්තු නොකිරීම වැනි හේතු නිසා කෙටි කාලයක් තුළ ඇද හැලෙන වැස්සකදීත් කොළඹ මෙලෙස ජලයෙන් යටවන බවයි.
තවත් පාර්ශ්ව කිහිපයක්ද මුල් අවස්ථාවේම ඒ පිළිබඳ පෙන්වාදීම් කළා.
ඒ අනුවයි අවහිර වූ කානු පද්ධති සහ ඇල මාර්ග පිරිසිදු කිරීම සඳහා කොළඹ මහ නගර සභාව සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව එක්ව හදිසි මෙහෙයුමක් ආරම්භ කළේ.
එසේ තිබියදී ඇති වූ තත්ත්වය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පුනරුදය ගෙන ඒමට ආණ්ඩුවට කානු පද්ධතිය හෝ පිරිසිදු කිරීමට නොහැකි වී ඇති බවට චෝදනා කරමින්.
"නගරාධිපතිනිය සඳහන් කරනවා කොළඹ ප්‍රදේශයේ තිබෙන කානු පද්ධතිය ප්‍රමාණවත් වන්නේ මිලිමීටර් 30 ත් 50 ත් අතර වර්ෂාපතන ධාරිතාවයකට කියලා. අපිට විශේෂඥ ක්ෂේත්රවලින් දැනගන්න ලැබී තිබෙනවා ඉතාමත්ම පැහැදිලිව මේ ගංවතුර තත්ත්වය නිර්මාණය වුණේ වතුර බැසයාමේ අවහිරතාවයෙන් තිබුණු නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කළ යුත්තේ කොළඹ නගරයේ කානු පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. බොහෝ දෙනෙක් මේ කොළඹ නගරයේ වර්තමාන පාලනය නගරාධිපතිතුමිය පත් කරගත්තේ මාස හයෙන් පුනරුදය උදා කරලා කොළඹ නගරය ශක්තිමත් සංවර්ධනයකට යොමු කරනවයි කියලා පොරොන්දුව මත. අඩුම ගානේ නගරාධිපතිතුමිය ප්රමුඛ නගර සභාවේ පාලන තන්ත්රයට බැරි වෙලා තිබෙනවා කොළඹ නගරයේ කානු පද්ධතියවත් හරියාකාරව පිරිසිදු කරගන්න. ඒ නිසා මම නගරාධිපතිතුමියට කියන්න කැමතියි, නැවතත් වරක් මේ වගේ තත්ත්වයක් නිර්මාණය නොවන්නට කරුණා කරලා කටයුතු කරන්න. හැබැයි ඔබතුමිය විපක්ෂ නායකවරයා ප්රමුඛ නගර සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් බෑර කරලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න යනවා නම්, මං හිතන්නේ ඒක ඉතාමත්ම අසාර්ථක පියවරක්. කොළඹ නගරයේ ජනතාවටත් මම කියන්න කැමතියි, මාස හයකින් පුනරුදය බලාපොරොත්තු වෙලා තමයි මේ වර්තමාන පාලනය බලයට ගෙනාවේ. දැන්වත් පාඩම් ඉගෙන ගන්න, බොරුවට ඇන්දවිල්ලට රැවටෙන්න නැතුව සත්‍යවාදී දර්ශනයක් ඔස්සේ සවන් දීලා ඒවට ශක්තිය ලබාදෙන්නට කාලය එළඹිලා තිබෙන්නේ."
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ද මේ පිළිබඳ අදහස් දැක්වූවා.
ඔහු පැවසුවේ ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ නගරාධිපති ධූරයට තරම් පරිණත නැති බවයි.
"මොකද හේතුව අර පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ CCTV කැමරාවක් අයි කරලා ඉස්සරහා පාට කරලා පිටිපස්සේ අර පොරෝන රෙදිවලින් වගේ වහල ඉවරවෙලා විවෘත කරන ඒවගේ වැඩ තමයි මේගොල්ලන්ට පුළුවන්. බල්තසාර්ට අපි කියනවා බයිල ගහන්න එපා. මේ බල්තසාර්ට බොරුවක්වත් කියන්න තේරෙන්නේ නැහැ. එයා කියනවා මිලිමීටර් 30ක 50ක ප්‍රමාණයක්ලු දරාගන්න පුළුවන් කොළඹ නගරයට, ඊට වැඩිය 129ට වැස්ස නිසා ලු බැරිවුනේ කියලා. මීට පෙර 490 ගණන්වලට කොළඹ නගරය වැහැලා තියෙනවා. බොරුවක්හරි කියන එක හරියට කියපංකෝ බල්තසාර්. ආණ්ඩුවට වැඩ බෑ වගේම නගර සභාවටත් වැඩ බෑ. ඡන්දය බල්තසාර් ඔයත් තොත්ත බබෙක්, ඔයා හුරුබුහුටියි. ඔයා ගිහිල්ලා ඒ වැඩේ කරගන්න."
කෙසේ වෙතත් විපක්ෂයේ මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසන්නේ කොළඹ මෙලෙස ජලයෙන් යට වූයේ පෙර පාලකයන්ගේ වැරදි නිසා බවයි.
"ස්ථාන 60 කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒක ඇතුළේ අපි ප්‍රධාන ස්ථාන 60 ම තමයි අපි අවධානය ලක් කරමින් ඉන්නේ. විශේෂ තැන් කියලා කියන්නේ අපි තැන් 60 ම අපිට විශේෂයි. ඒක ඇතුළෙත් අපි විශේෂයෙන්ම මැෂින් දාලා කරන්න පුළුවන් ටික SLLDC ආයතනයෙන් භාරගෙන තියෙනවා විශේෂයෙන්ම මැෂින් දාලා කරගන්න පුළුවන් ඒවා. ගොඩක් හැබැයි මේකේ තියෙන්නේ 60% කට වඩා වැඩි පංගුවක් තියෙන්නේ මෑන් පවර් එකෙන්, මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් කරන්න තියෙන ඒවා. ඒකට නගර සභාවත් ඒ වගේම හමුදාවත් මැදිහත් වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පේන්නේ නැති ඒක නිසා ඉතින් සමහර ඒවා වසර ගණනාවකින් සුද්ධ කරපු නැති තැන් තියෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සැලකිය යුතු කැලිකසල ප්‍රමාණයක් ඇතුළේ තියෙන්නේ ප්ලාස්ටික් බෝතල්, කුණු ගොඩවල් ඒවා ගොඩක් තියෙනවා ඇතුළේ හිර වෙලා හිර වෙලා. ඊට අමතරව අවුරුදු ගානක් පුරා ඒ කැනල්ස් ඇතුළෙන්, පාලම් ඇතුළෙන් යන එක එක බට තියෙනවා ඒක වතුර බට වෙන්න පුළුවන්, සමහර ඒවා ඉලෙක්ට්රිසිටිවලට යන බට වෙන්න පුළුවන්. ඒ ඒක ඇතුළෙත් ආයෙ නැවත මේවා හිර වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේකෙන් කරන්නේ ඇත්තටම කිව්වොත් කෙටි කාලීන වැඩක්. නමුත් අපි හිතනවා නගර සභාවත් ආණ්ඩුවත් මැදිහත් වෙලා, විශේෂයෙන්ම නාගරික සංවර්ධන එකත් මැදිහත් වෙලා, දීර්ඝ කාලීනව විශේෂයෙන්ම මෙවැනි දැවැන්ත වර්ෂාපතනයක් ආවොත් මේ නගරය යට නොවී බේරගන්න ඕන කියන එකට පැත්තට ඉදිරියේදී අපි හිතනවා වැඩපිළිවෙලක් අපි හදාගන්න ඕනේ කියලා."
මේ අතර අවහිර වූ කානු සහ ඇල මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුම් ඊයේ දිනයේ ද සිදු කෙරුණා.
නෙත් නිව්ස් සමග විශේෂ සංවාදයකදී ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රදීප් මාපලගම මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොදු මහජනතාවට ද වගකීමක් තිබෙන බවයි.
කානු හෝ ඇලමාර්ග අවහිර වන ලෙස අවිධිමත්ව කසල බැහැර නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියා.
එලෙස අවිධිමත්ව කසල බැහැර කරන්නන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද ඉදිරියේදී පියවර ගන්නා බවයි ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රදීප් මාපලගම මහතා වැඩිදුරටත් පැවසුවේ.




