පෑනක හැඩයෙන් යුත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සැකකරු පින්තාරුකරුවෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි.

දැනට රැදයුම් නියෝග මත සිටින ප්‍රභාත් මධුසංක නොහොත් මිදිගම චූටි නමැති සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව හෙලි වු තොරතුරු මතයි අදාළ සැකකාර පින්තාරුකරු වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

37 හැවිරිදි සැකකරුට මෙම ගිනි අවිය ලැබුණ ආකාරය සහ එයින් අපරාධ සිදුකර ඇද්ද යන්න සෙවීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මත්පෙති හා ගංජා පානය කරන බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වූ මහජන කළමනාකරණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානයය පවසනවා.

එම නිලධාරීන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ ද යන්න පරික්ෂා කිරීම සඳහා අන්තරායාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විෂ මත්ද්‍රවයක් වන ගංජා හා මත් පෙති භාවිත කර ඇති බවට සනාථ වී තිබෙනවා.