සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් සහ තුන්වන එක්දින තරගය ජය ගැනීම සදහා සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 214 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 213ක් රැස් කළා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සෝභානා මොස්ටරි පන්දු 80කදී ලකුණු 74ක් රැස් කළා.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුළු 3 ක් හා නිමාෂා මීපගේ කඩුළු 2 ක් බිද හෙළුවා.

මල්කි මරාදා සහ චමරි අතපත්තු ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 214 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පස්වරු 1.45 ට පමණ පන්දුවාර 14 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 50 ක් රැස්කර ගෙන සිටියා.

නායිකා චමරි අතපත්තු පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

පන්දු 15කට මුහුණ දුන් ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්.

පන්දුවට පහර දෙන හසිනි පෙරේරා ලකුණු 21 ක් හා ඉමේෂා දුලානි ලකුණු 18 ක් රැස්කර ගනිමින් ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

එක්දින තරග තුනකින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලියේ මීට පෙර පැවති තරග දෙක කණ්ඩායම් දෙකම එක බැගින් දිනාගෙන සිටිනවා.

ඒ අනුව මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනු ඇති.