එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්‍ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ප්‍රතිචාරය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්‍ෂය පැවසුවේ.

එමෙන්ම පක්ෂය යළි ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වැදගත් යෝජනා සහ අදහස් රැසක් එහිදී ඉදිරිපත් වි තිබෙනවා.

තනි තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එක් කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දිය යුතු බවයි පක්‍ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.

මේ අතර පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.