පවතින වැසි තත්ත්වය ලබන 25 වනදා දක්වා අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේද ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

''අද උදෑසන 8 දක්වා කාලය ගත්තොත් අපිට වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව රත්නපුර සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විශේෂයෙන් තවලම, නෙළුව වගේ ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය පැය කිහිපයේ තද වැසි වාර්තා වෙනවා. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, විශේෂයෙන් අන්දමන් දූපත්වලට උතුරු ප්‍රදේශයට වන්නට වර්ධනය වෙලා තියෙන අඩු පීඩන කලාපය. මේ අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවතියත්, මෙහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නැහැ. කෙසේ නමුත් මේ පද්ධතිය දෙසට හමා යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින නිසා, අද දිනයේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල දවස පුරාම වගේ අහස වලාකුළින් බරව පවතිනවා. ඒ වගේම කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි අපේක්ෂා කරන්න අද දිනයේදීත් හැකියාව තියෙනවා. ඊට අමතරව ගත්තොත් මන්නාරම දිස්ත්‍රික්කයේ සහ උතුරු මැද පළාතෙත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන්න අද දිනයේදී හැකියාව තියෙනවා. සවස් කාලයේදී විශේෂයෙන් ඌව පළාත සහ ඒ වගේම මඩකලපුව, අම්පාර වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.මේ වගේ, ඒ වගේම මේ වැසි සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් සැප්තැම්බර් මාසයේ 25 පමණ දක්වා තවදුරටත් අපි අපේක්ෂා කරන නිසා, විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත් බිම්වල ජීවත් වෙන ජනතාව සහ ඒ වගේම නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා."

මේ අතර කළු, කැළණි, නිල් සහ ගිං ගංගා ආශ්‍රිත ඇතැම් පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ එල් එස් සූරිය බණ්ඩාර මහතා.
''ගංවතුර වැඩිවීමේ ප්‍රවණතාවය අඩු වුණත්, අද දවසේ වර්ෂාපතනය ලැබීමේ පූර්වකථනයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අතිශය සැලකිලිමත් විය යුතුයිඅත්තනගලු ඔයේ දූනමලේ ජල මට්ටම් කෙමෙන් වැඩිවීමක් තිබුණත්, ඇයත් වැඩිවීමේ ප්‍රවණතාවය ශීඝ්‍ර නැහැ. මහවැලි ගඟේ නාවලපිටිය ජල මට්ටම බොහෝ දුරට අඩු වෙලා තියෙනවා, සහ පේරාදෙණිය ජල මට්ටමත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. අනෙකුත් ගංඟාවල ජල මට්ටම ශීඝ්‍ර වැඩිවීම් හෝ එසේත් නැත්නම් ගංවතුර තත්ත්වයක් දක්වා වැඩිවීම් එතරම් දකින්නට නැහැඑසේ වුණත්, අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමේ පූර්වකථනයක් තියෙන නිසා, ගින් ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ඒ ප්‍රදේශවල සහ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවල ඉතාම ඉහළ අගයක තියෙන්නේ මේ ගංගාවල ජල මට්ටම්. ඒ තත්ත්වය යටතේ ක්ෂණිකව ලැබෙන වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න කියලා ඉල්ලීමක්ඒ වගේම, මේ වන විටත් ඇතැම් ස්ථාන - විශේෂයෙන්ම කළු ගඟ, කැලණි ගඟේ ඇතැම් ස්ථාන සහ නිල්වලා ගඟ සහ ගින් ගඟේ පහළ ප්‍රදේශ මේ වන විටත් ඇතැම් පහත් බිම් යට වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙනුත් ජනතාව ඉතාම සැලකිලිමත් විය යුතුයි. ගංවතුර තත්ත්වයකදී ලැබෙන වර්ෂාපතනයන් ක්ෂණිකව ලැබීමත් සමග නැවත ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තියෙනවා.''

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් මධ්‍යම පළාතටද බලපැම් එල්ල වී තිබෙනවා. එමෙන්ම වැඩි දෙනෙකුගේ අවධානය මේ වනවිට යොමු වී ඇත්තේ කොත්මලේ ජලාශයේ ජලමට්ටම පිළිබදවයි. ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා.

"කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයාට අනුව, දැනට ජලාශයේ උපරිම ධාරිතාවයෙන් 49%ක් තමයි දැනට පිරී තියෙන්නේ. ඒ එක්කම මේකේ උපරිම ධාරිතාව, බෆර් සෝන් එකේ උපරිම ධාරිතාවයෙන් 85.9%ක්. එතකොට තව එතුමාට අනුව තව මේකට බය වෙන්න දෙයක් නෑ. විශාල වතුර ධාරිතාවයක් මේකට දරාගන්න පුළුවන්. ඒ හින්දා ප්‍රදේශවාසීන්ට බිය වෙන්න අවශ්‍ය නෑ කියලා තමයි එතුමා සඳහන් කළේ. ඒ එක්කම නාවලපිටිය ප්‍රදේශයේ සහ තලවකැලේ ප්‍රදේශයේ යම් අවදානමකට ඇති පවුල් අපි තාවකාලික කඳවුරුවලට ගෙනිහින් තියෙනවා. දිසාපතිතුමන්ලා, ඒ එක්කම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඒ ප්‍රදේශයේ බලධාරීන් සහ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ පොලිසියට අනුව නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 66ක් දැනට අපි තාවකාලික කඳවුරුගත කරලා තියෙනවා. ඒකෙත් ඉඹුල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සහ ඉඹුල්පිටිය ප්‍රදේශයේම තියෙන ආගමික ස්ථානයක තමයි ඒ රඳවලා තියාගෙන තියෙන්නේ. ඒ එක්කම තලවකැලේ ප්‍රදේශයේ පවුල් හයක් තලවකැලේ ප්‍රදේශයේ තියෙන පාසලක දැනට තාවකාලිකව රඳවලා තියෙනවා. විශේෂයෙන් මධ්‍යම පළාතේ ජනතාවට කියන්න තියෙන්නේ, අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ඕගොල්ලන්ගේ සාමාන්‍ය ජනජීවිතය ඒ විදිහටම ගෙනියන්න. රජයේ උපරිම අවධානය යොමු කරලා තියෙන්නේ මේ කටයුතු සඳහා."

මේ අතර මහ වැසි ඇදහැළෙන ප්‍රදේශවල පාසල් රැසක් අද දිනයේ වසා දමා තිබෙනවා. ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිත පාසල් 38 ක් ද වසා දමා ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවේ.
"මීට පෙර ලබා දීලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුව, සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට එම තීරණය ගන්න අපි ඉඩ... අවස්ථාව සලසලා තියෙන්නේ විදුහල්පතිවරුන් එක්ක සාකච්ඡා කරලා. ඊට අමතරව යම් ගැටලුවක් ඇතිවෙනවා නම්... ඒගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය වුණොත්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමිය, ඒ එක්කම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය සහ ප්‍රධාන ලේකම්තුමා සම්බන්ධ කරගෙන, සහ ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමාලා සහ අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ තීරණ ගන්න කියලා තමයි දැනට කියලා තියෙන්නේ. අද දවසට පාසැල් 38ක් මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශයේ විතරක් වසා තියෙනවා. නමුත් අපි හිතනවා වැසි සහිත කාලගුණ තත්ත්වය පහව ගියොත් අපිට ඒවා හෙට දවසේ විවෘත කරගන්න හැකිවෙයි කියලා."

මහවැසි නිසා ගාල්ල දිස්ත්‍රික්කයටද බලපැම් එල්ල වී තිබෙනවා. ඒ පිළිබද නවතම තොරතුරු නෙත් නිවුස් ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රාලාල්ගෙන්.
"පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන මේ වන විට ජලයෙන් යට වෙලා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, හිණිදුම, නෙළුව ප්‍රදේශවල ඊයේ පැවැති ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යද්දී මාපලගම, නාගොඩ, බද්දේගම ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යට වෙලා තිබෙනවා. ඒ වගේම මාර්ග රැසක් ජලයෙන් යට වෙලා රථවාහන ධාවනයට බාධා එල්ල වෙලා තිබෙනවා. සඳහන් කරන්න ඕන, මාපලගම - පනන්ගල මාර්ගය, මාපලගම - පිටිගල මාර්ගය, නාගොඩ - බද්දේගම මාර්ගය මේ ආකාරයෙන් මේ වන විටත් ජලයෙන් යට වෙලා තිබෙන්නේ බොහෝ ස්ථාන. මේ නිසා රථවාහන ධාවනය නැවතී තිබෙන්නේ. මේ අතර සඳහන් කරන්න ඕන, ප්‍රදේශයේ පාසල් බොහොමයක් අද පැවැත්වුණේ නැහැ පවතින ගංවතුර තත්ත්වය නිසා. සමහර පාසල්වල ළමයින්ගේ පැමිණීම ඉතාම අඩු මට්ටමක තිබුණු බව තමයි අධ්‍යාපන බලධාරීන් කියා සිටියේ. කෙසේ නමුත් මේ කතා කරන මොහොත වන විට නම් යම්තාක් දුරකින් වර්ෂාව අඩු වෙලා තිබෙනවා. මේ තත්ත්වය තමයි අද ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින්නේ.''

කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මහ වැසි ඇද හැළුණත් වාරි ජලාශවල ජල මට්ටම තවමත් පවතින්නේ සියයට 33. 7 ක අගයකයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ H.M.P.S.D.  හේරත් මහතා.

විශේෂයෙන් අපි කලින් සැලසුම් කරපු පරිදි අපි වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්නේ මේ මාස අවසානයේ නැත්නම් එළඹෙන මාසයේ මුල සිට. නමුත් ඒ වර්ෂාපතනය කලින් ලැබෙනවා කියන්නේ අපිට මේ ඊළඟ මහා කන්නය ආරම්භ කිරීමට යම් ආශීර්වාදයක් වෙනවා. ඒ අනුව විශේෂයෙන් වියළි කලාපයේ පිහිටි ජලාශවල ජල මට්ටම මේ වන විට විශාල වශයෙන් වැඩිවීමක් නිරීක්ෂණය නොවුණත්, යම් ආකාරයක වර්ෂාපතනයක් ලැබෙන බැවින් ඉදිරියේදී මෙම ජලාශවලටත් යම් ජල ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරනවාමේ වන විට දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශවල ජල මට්ටම 33.7%ක ප්‍රමාණයක් පවතින්නේ. පසුගිය සතිය පුරාම මෙම අගයට ආසන්න අගයක් තමයි පැවතුණේ. විශේෂයෙන් මේ වන විට තවමත් මෙම ජලාශවල, විශේෂයෙන් වාරි ජලාශවල ජල මට්ටම වැඩිවීමක් මේ වන විට තවම නිරීක්ෂණය වෙලා නැහැ.

ජලවිදුලි බලාගාර ආශ්‍රිතව?

''එම ප්‍රදේශවල මම හිතන්නේ යම් ආකාරයක ජල ප්‍රතිශතයේ වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. ඒ අනුව විශේෂයෙන් එම ගංගා ද්‍රෝණිවල, විශේෂයෙන් ජලවිදුලිය නිපදවන ගංගා ද්‍රෝණිවලට තමයි මේ වන විට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඒ අනුව එම ජලාශවල ජල මට්ටමේ වැඩිවීමක් නිරීක්ෂණය වීමක් තියෙනවා. විශේෂයෙන් මේ වන විට අඹේවෙල ජලාශය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස වැව වාන් දමමින් පවතිනවා. නමුත් අනෙකුත් ජලාශවල ජල මට්ටම සාපේක්ෂ වශයෙන් අවම අගයක තියෙන්නේ. කෙසේ වෙතත් රාජාංගනය ජලාශයේ යම් ජල ප්‍රමාණයක් පවතිනවා. ඊට අමතරව දැදුරුඔය ජලාශය ද ප්‍රධාන ජලාශ අතරින් වැඩි ජල ප්‍රමාණයක් පවතින ජලාශයක් ලෙස නම් කරන්න පුළුවන්."