මහව, පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගිලන් රථ රියදුරෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන්රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියැදුරා, ගිලන් රථ සහයක සහ නිලධාරිණියක් අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ගිලන් රථ රියදුරා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 55 ක් වූ ඔහු දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථයේ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර තිබෙනවා.

එමෙන්ම ලොරි රථ රියැදුරා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇති බවයි මහව පොලිසිය පැවසුවේ.