2026 හජ් වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වන්දනා නඩය දිවයිනෙන් පිටත්ව ගියා.
සෞදියා ගුවන් සේවයට අයත් එස් වී 839 දරන යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් ජෙඩා නුවර බලා පිටත්ව ගිය බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් 325 දෙනෙකු මෙම නඩයට අයත් වනවා.
ඔවුන් පිටත්ව යාම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී උත්සවයක්ද පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමුද් අල් කාතානි යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගි වී සිටියා.
මෙවර හජ් වන්දනාව සිදුකිරීමට සිදුව ඇත්තේ මැද පෙරදිග යුද උණුසුමද තවමත් සම්පූර්ණයෙන් පහව නොගිය පසුබිමකයි.
කෙසේවෙතත් මෙවර හජ් වන්දනාව සදහා ශ්‍රී ලංකාවෙන් මුස්ලිම්වරුන් 3500ක් තෝරාගෙන තිබෙනවා.




