මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ  රැදවියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව එම මෘතදේහ ඥාතීන් වෙත භාරදීම මේ වනවිට සිදුවන බවයි මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු බෙන්ට් ෆර්ඩිනෑන්ඩස් පැවසුවේ.

මේ අතර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණියා.

තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය 5 වනදා පස්වරු එකට පමණ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර පළමුව ගැටුම හටගත්තා.

එහිදි තුවාල ලැබූ රැදවියන් 36 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් රැදවියන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

පැවති කලහකාරී තත්ත්වය එදින රාත්‍රියේ මැඩපැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ ද ඊයේ පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරයේ ගැටුම් හටගත්තා.

පැවති ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 27 ක්.

මීගමුව බන්ධනාගාරයේ පැවති ගැටුම් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබුණද එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර තිබෙනවා.