අභිරහස් ලෙස මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද? නැද්ද? යන නියෝගය ජුනි මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ නීතිඥවරු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තේජිත කෝරලගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් සිතාසි නිකුත් කර නොතිබුනද මාධ්‍යවලින් පළවූ වාර්තාවලට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
”ස්වාමීනී.... අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370, 5 වගන්තිය යටතේ ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා. සාක්ෂි ආඥා පනතේ 126 සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදන වලට අනුව නීතිඥවරයෙකු සිය සේවා දායකයා සමග සිදු කරනු ලබන උපදේශාත්මක කාරණා සම්බන්ධයෙන් රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එය නීතිඥවරයෙකුට පැවරී තිබෙන වගකීමක්. මෙම මරණ පරීක්ෂණයේදී සිදුවන්නේ මරණකරුගේ මරණය සිදුවූ හේතුව සොයා ගැනීමයි. ඒ නිසා නීතිඥවරයෙකු හා සේවාදයකයෙකු අතර හුවමාරු වූ අදහස් මෙම කාරණය සොයා ගැනීමට කොයිතරම් අදාල වේද යන්න සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අධිකරණයේ අවධානය යොමු කරනවා. එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370, 5 යටතේ මෙම ජනාධිපති නීතිඥවරයාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගේ සාක්ෂිය කැඳවීමට අවශ්‍යද යන්න නිගමනය කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසුවා.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ජනාධිපති නීතිඥවරයාගෙන් සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මතුකළ කාරනා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළා.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ
2026 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබෙනවා. පසුව ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවයක් නිසා ඔහුට ඇප ලබාගැනීමට බැරිවෙනවා. ඉන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඒ මහතා මැයි මස 6 වනදා බන්ධනාගාරයෙන් පිටව යනවා. පසුව මැයි මස 07 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. එදින හවස් යාමයේ අරවින්ද ද සිල්වා මාවතාගේ නිවසට පිරිසක් ඇවිත් තිබෙනවා. එම පිරිස පසුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ නිල මැදිරියට ගොස් සාකච්ඡා කර තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිවෙලා තිබෙනවා. එම ස්ථානයේදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියැන්සි අර්සකුලරත්න මහතා සහ මියගිය කපිල චන්ද්‍රසේන මහතා අතර සංවාදයක් ඇති වී තිබෙන බව බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා.
එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහායි එම නීතිඥවරු සාක්ෂියට කැඳවා තිබෙන්නේ” යනුවෙන් පොලිසිය පැවසුවා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද නැද්ද යන නියෝගය ජූනි මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ට අවවාද කළා.

මෙම පරීක්ෂණයට සාක්ෂි දීම සඳහා අද දින කැඳවා තිබු තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට ඊළග දින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් අවවාද කළා.

මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොළඹ අපරාධ කොට්ඨාශය CCTV දර්ශන හා දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නා.