මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රන් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග අද තරග බිමට පිවිසෙනවා.

ඒ හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහායි.

හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද සහභාගී වනවා.

මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

ඒ පැරා කව පෙත්ත විසි කිරීමේ පිරිමි ඉසව්වට සහභාගි වෙමින්.

මෙහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ පාලිත බණ්ඩාර තරගයේ රිදී පදක්කම දිනා ගත්තා.

ඔහුගේ දක්ෂතාව මීටර 46යි සෙන්ටිමීටර් 84 ක්. වේල්සය නියෝජනය කරන ඇලඩ් ඩේවිස් තරගයේ රන් පදක්කම දිනා ගත්තා. ඒ

මීටර් 48යි සෙන්ටිමීටර් 38ක දක්ෂතාවක් දක්වමින්.

මේ අතර රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ජයග්‍රහණය බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් වූ බවත් ඊට සහාය වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළා.

"ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ගොඩක් කැපකිරීම් කරලා, ගොඩක් පුහුණුවීම් කරලා තමා මෙතනට ආවේ. ඒ වගේම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට, යුද්ධ හමුදාපතිතුමා ඇතුළු, ඒ වගේම මගේ රෙජිමේන්තුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුව සහ පැරාලිම්පික් කමිටුව, ජාතික කොමන්වෙල්ත් කමිටුව වගේම අපේව කලින් ගෙන්න ගත්තා මෙහෙට 'ගැප්ස්' (GAPS) කියලා ප්‍රෝග්‍රෑම් එකකට. එතනින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වුණා.

ඒ වගේම මගේ පුහුණුකරු ප්‍රභාත් දැනුෂ්ක පෙරේරා. මොකද එතුමාට මෙම තරගාවලියට සහභාගී වෙන්න බැරි වුණත්, එතුමාගේ අධීක්ෂණය යටතේ තමා මං මෙහෙ ඇවිල්ලත් පුහුණුවීම් කටයුතු කරේ. ඒ වගේම මට මෙහෙදී ප්‍රදීප් සර් වගේම නලින් සර්, සියලුම පුහුණුකරුවන් මට සහයෝගය දැක්වුවා. ඉතින් ඒ සහයෝගයෙන් අද ලොකු ගමනක් ආවා. බලමු ඉදිරියටත් ඒ ගමන යන්න.

ඇත්තටම පළවෙනි ත්‍රෝ එක විතරයි මට කරගන්න පුළුවන් වුණේ. මොකද එතනින් පස්සේ මාව ක්‍රෑම්ප් වෙන්න ගත්තා, වම් කකුලත් ගියා එක පාරක්. ගොඩක් සීතලත් එක්ක, මොකද අපි ලොකු උෂ්ණත්වයක් තියෙන රටක තමා අපි ඉන්නේ, මේ වගේ රටකට ආපුවහම අපිට ඒ උෂ්ණත්වය දරාගන්න අමාරුයි. ඒ වගේම අපි අර කලින් ආපු නිසා පොඩි සහනයක් ලැබුණා.

පාලිත බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් දෙවන අවස්ථාවද මෙය වනවා.

මේ අතර මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයකදී තුන්වන ස්ථානය දිනා ගැනීමට අයෝමාල් අකලංක සමත් වුණා.

ඒ තත්පර 50යි දශම 2යි 7ක දක්ෂතාවක් දක්වමින්.

මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්ව සඳහාම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අසිත තරංග තවත් මූලික තරඟයකදී 7වන ස්ථානය දිනා ගත්තා.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 53යි දශම 0යි 4ක්.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදීයි.