යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් අද දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවයි නීතීඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ.

මේ අතර මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඊයේ සඳහන් කළේ කිසිදු පුද්ගලයෙකු විශේෂ නොවන බැවින් හිටපු සියළුම රාජ්‍ය නායකයින් සඳහා ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන යුධ ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් විවෘත ආරාධනාවක් කර ඇති බවයි.

ඒ සඳහා සහාභාගිවීම හෝ නොවීම එම පුද්ගලයන්ගේ ස්වකැමැත්ත බවද ඔහු කියා සිටියා.