තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා ගෙන ප්‍රශ්න කළ එම චීවරධාරීන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝගය කළේ සැකකාර චීවරධාරීන් ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙම චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්‘ සහ ‘හෑෂ්‘ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ තවත් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකුද පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.