කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු චීවරධාරීන් විසි දෙදෙනා මීගමුව බන්ධනාගාරයේ රැදවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී විශේෂ පහසුකම් ඉල්ලා එම චීවරධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් නොවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට හැකියාව තිබුණද මෙම චීවරධාරීන් ඊටද මීගමුව බන්ධනාගාරයෙන් මෙතෙක් ඉල්ලීම් කර නැහැ.

කෙසේවෙතත් සැකකරුවන්ට ලබාදෙන පහසුකම් හැර වෙනත් විශේෂ පහසුකමක් මෙම පිරිසට ලබානොදෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙම චීවරධාරීන් විසි දෙදෙනා පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒම හේතුවෙන්.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් චීවරධාරීන්ගේ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අදාළ චීවරධාරීන් පිරිස ඊයේ දිනයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර චීවරධාරීන් පිරිස ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙම සිද්ධියට අදාළව තවත් චීවරධාරියෙකු සහ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැගව සිටියදීයි.

එම චීවරධාරියා අද දිනයේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සෙසු පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි.

ඔහු ඊයේ දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.