ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා.

මීට අනුව ආසියානු කලාපයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට වන්නේද ශ්‍රී ලංකාවයි.

පාරිභෝගික මිල ගණන් සහ ජීවන තත්ත්වයන් පිළිබඳ දත්ත රැස්කරන ජාත්‍යන්තර ‘නම්බියෝ‘ වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

ඒ 2026 මැද කාර්තුව සඳහායි.

ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් පවතින සෙසු රටවල් ලෙස හඳුනාගෙන ඇත්තේ පිළිවෙලින්, බංග්ලාදේශය, ඉරානය, ඉන්දියාව සහ ඉන්දුනීසියාවයි.

ලොව වැඩිම මාර්ග තදබදයක් පවතින රට ලෙස නයිජීරියාව ශ්‍රේණිගත කර තිබෙනවා.

දෙවන ස්ථානයට ශ්‍රේණිගත කර ඇත්තේ කොස්ටාරිකා රාජ්‍යයි.

‘නම්බියෝ‘ වෙබ් අඩවිය විසින් සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ රැකියා සහ පාසල් සඳහා යන මගියෙකුගේ සාමාන්‍ය එක්දින ගමන් කාලය මිනිත්තු 53කට වඩා වැඩි අගයක් ගනු ලබනවා.

මෙරට ප්‍රවාහන ක්‍රම සලකා බැලීමේදී වැඩිම පිරිසක් එනම් සියයට 46කට වඩා වැඩි පිරිසක් පෞද්ගලික මෝටර් රථ භාවිත කරන අතර, බස් රථ භාවිත කරන්නේ සියයට 26කට ආසන්න පිරිසක් පමණයි.

දුම්රිය භාවිතය සියයට 4.6ක වැනි ඉතා අඩු මට්ටමක පවතිනවා.

පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින අකාර්යක්ෂමතා හේතුවෙන් මාර්ග තදබදය තවත් දරුණු වී ඇති බවයි ශ්‍රේණිගත කිරීම සමග නිකුත් කර ඇති වාර්තාවෙහි සඳහන් වන්නේ.

මෙම අධික වාහන තදබදය නිසා සිදුවන පරිසර දූෂණය පිළිබඳවද එහි තොරතුරු ඇතුළත්.

ඒ අනුව, මාර්ග තදබදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ එක් මගියෙකුගෙන් වසරකට කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 1,741කට අධික ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා.

එම විනාශකාරී කාබන් ප්‍රමාණය සමනය කර අවශ්‍ය ඔක්සිජන් නිපදවීම සඳහා එක් මගියෙකු වෙනුවෙන් ගස් 80ක් පමණ සිටුවිය යුතු බවයි එම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙන්නේ.