මෙම වර්ෂය සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 30 වනදායින් අවසන් වනවා.

ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් එදිනට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත හඳුන්වා දීමෙන් පසුව එහි අසූව එක වගන්තිය ප්‍රකාරව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අනිවාර්යෙන්ම එම අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි.

එය ප්‍රමාද වීම දඩයකට සහ අධිකරණමය ක්‍රියාමාර්ගයට ලක්විය හැකියි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසනායක මහතා පැවසුවේ.

වත්කම් බැරකම් ප්‍රකාශ දැන් ඉදිරිපත් කළ යුතු වන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හරහායි.

ඒ අනුව මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය 2026 මාර්තු 31 වන දින එළි දක්වනු ලැබුවා.

ඇතැමුන් තවමත් මේ සම්බන්ධයෙන් නොදැන සිටින බව පෙනී යන බවද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.

මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.