සිරදඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා සිටිනවා.
ඊයේ පස්වරු 4ට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු පළමුව සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඉන් අනතුරුව සිරකරුවන් වෙනුවෙන් වෙන්වූ ජම්පරය ද හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ලබා දි තිබෙනවා.
ඒ අනුව ජම්පරය හැදගත් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා සිටිනවා.
පසුගියදා සිරදඩුවම් නියමවු හිටපු අමාත්‍යවරුන් වන මහින්දා නන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ද රදවා සිටින්නෙ මෙම වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
එමෙන්ම මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා රදවා සිටින්නේ ද මෙම වාට්ටුවේයි.
වැලිකඩ කේ වාට්ටුවේ රදවා සිටින්නෙ සිරදඩුවම් නියම වූ දේශපාලඣියින් සහ රජයේ සේවකයන් බවයි වාර්තා වුණේ.
ඒ අනුව ඔවුන් විශේෂ ආරක්ෂාවක් යටතේ රදවා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කෙරුණා.
ඒ, එක් එක් නඩුවකට වසර හතර බැගින් සිර දඬුවම් නියම කරමින්.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කර තිබුණා.




