ඇදහැළෙන වැසි හමුවේ දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ගිං ගඟ පහළ ප්‍රදේශයේ, බද්දේගම ආසන්න ස්ථාන කිහිපයක මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී තිබෙනවා.
මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්රිත ප්‍රදේශවල මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආසන්න ප්‍රදේශවල මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මඩකළපුව දිස්ත්‍රික්කයෙන්ද මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම්වල සීඝ්‍ර ඉහළ යාමක් මේ වනවිට දක්නට නැහැ.
තෙත් කලාපයේ ගිං, නිල්වලා, කළු ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, ඒවා මේ වනවිට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
කෙසේ වෙතත්, එම ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද ප්‍රකාශ කෙරුණා.




