වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාර ගතව සිටි සිරකරුවෙක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

එම සිරකරුවා පෙරේදා දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ අභ්‍යන්තර එළිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණා.

ඒ එම ක්‍රීඩාංගණය සුද්දපවිත්‍ර කර ගැනීම සඳහායි.

එම අවස්ථාවේ අදාල සිරකරුවා බන්ධනාගාර නිලධාරීනගෙන් මිදී පලාගොස් තිබෙනවා.

පලාගිය සිරකරු ලුහුබැඳ ගිය බන්ධනාගාර නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා ඔහු අල්ලාගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

එහිදී රැඳවියා හා නිළධාරීන් අතර පොරබැදීමක් සිදුවූ බව ද වාර්තා වනවා.

එම රැදවියා නැවත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් යාමෙන් පසු පෙරේදා රාත්‍රී කාලයේදී ඔහු පපුව රිදෙන බව පවසා ඇති අතර ඒ අනුව එම සිරකරුවා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට බන්ධනාගාර බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

එම රෝහලේදී අදාල සිරකරුවා මිය ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්.

මාස 03ක සිර දඬුවමක් නියමව සිටි ඔහුගේ සිර දඬුවම මෙම මස 30වනදායින් අවසන් වීමට නියමිතව තිබුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විමර්ශණ සිදු කරන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තාවන්නේ පසුගිය අප්‍රේල් 27 වෙනිදා මැගසින් බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නියාමකවරයෙක් සමග ඇති වූ පොරබැදීමකින් රැඳවියෙක් මියයාමේ සිදුවීමක් වාර්තා වූ පසුබිමකයි.