විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමුවරට රැස් වී තිබෙනවා.

එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන එම පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර, ශ්‍රී ලංකා රේගුව මඟින් ලබන ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ”කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී, අදාළ තාක්ෂණික සූදානම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම නියෝජිතයින් විසින් මෙම නව ක්‍රියාවලිය ඇගයීමට ලක් කර ඇති අතර, වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එකඟතාව පළ කල බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.