අනෙකුත් වෘත්තීයවේදීන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍යතාවය මත රජය විසින් ඉදිරියේදී සළකා බලන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් නලින්ද ජයතිස්ස සහ හර්ෂණ නානායක්කාර යන අමාත්‍යවරුන් වෙත කියා සිටියේ සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීමටද සලකා බලන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු දුන්නා.
''පසුගිය 2021, 22, 23 වගේ කාලවලදී පැවති ආර්ථික අර්බුදය නිසා සහ දේශපාලන අර්බුදය නිසා විශාල ප්‍රමාණයක් වෘත්තිකයන් රට අතහැරලා ගිහින් තියෙනවා. දැන් සෞඛ්‍ය ක්ෂේත්රයේම අර්බුදය පැන්නැගුණහම විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කළා. තවත් සෞඛ්‍ය ක්ෂේත්රයේම එහෙම ඉල්ලීම් කිහිපයකුත් පවතිනවා හෙද නිලධාරීන් ඇතුළුව. ඒ වගේම අපේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබෙනවා අවුරුදු 76, 77 දක්වා, 78 දක්වා. එතකොට මේ සියලු දේවල් සලකා බැලුවහම වෘත්තීයවේදීන් අපේ මේ යාන්ත්‍රණය තුළ තබා ගැනීමටත්, ඒ වගේම මේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිවීම නිසා මේ අයගෙන් තවත් කාලයක් සේවාව ලබා ගැනීමත් කියන අරමුණු කිහිපයක් ඉලක්ක කරගෙන තමයි මේ විවිධ වෘත්තිකයන් මේ ඉල්ලීම කරලා තිබෙන්නේ. ඒවා ඉදිරියේදී සලකා බලනවා. ඉතින් මේ අවුරුදු දෙකේ සීමාව කියන එකත් මේ වෙලාවේදී සැලකිල්ලට ලක් කරා. ඒ වගේම අවුරුදු එක, දෙක, තුන, හතර දක්වා වෙච්ච ඉල්ලීම් කිහිපයක් අනෙක් වෘත්තීයවේදීගෙනුත් ඇවිත් තියෙනවා. ඒවාත් රජය අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී සලකා බලයි.




