නෝර්වුඩ් නගරයේ විවෘත කිරිමට සැලසුම් කර තිබු මත්පැන් හලකට විරෝධය පාමින් වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, එම මත්පැන්හල විවෘත කිරිමට සුදානම් කර තිබු ගොඩනැගිල්ල ඉදිරිපිට කළුකොඩි ඔසවමින්.

නෝර්වුඩ් නගරයේද කළු කොඩි ඔසවා සියලුම වෙළදසැල් වසා දමා ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නෝර්වුඩ් නගරයේ දැනට මත්පැන්හල් තුනක් පවතිනවා.

තවත් මත්පැන්හලක් විවෘත කිරිම තුලින් තමන්ට ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බවයි උද්ඝෝෂකයින් කියාසිටියේ.

අදාළ මත්පැන්හල විවෘත කිරිමට සැළසුම්කර ඇති ගොඩනැගිල්ලේ ඉහළ මහළේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන බවත්, මේ හේතුවෙන් එම උපකාරක පන්තියට පැමිණෙන සිසු සිසුවියන්ටද පීඩාවක් සිදු වන බවත් මෙහිදි ප්‍රකාශ කෙරුණා.