ශ්‍රී දළදා වහන්සේ වැඩසිටීම සඳහා රත්‍රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව මල්වතු - අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංදේශයක් මඟින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

අත්තිඩියේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, දළදා වහන්සේගේ භාරකාරත්වයේ පූර්ණ අනුමැතිය සහිතව මෙම රන් කරඬුව පූජා කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජේ ඒ එල් ජයසිංහ පැවසුවේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික කළ වාර්තාවලට අනුව මෙම කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04 ක්.

ඊට කිලෝග්‍රෑම් 65.224 ක රත්‍රන් ප්‍රමාණයක් සහ කිලෝග්‍රෑම් 20.822 ක බරින් යුත් විවිධ මැණික් ගල් අඩංගු බවද සඳහන්.

මේ අතර, දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකිරීම ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සම්පූර්ණ කරන ලද, මෙතෙක් දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව රැකෙන පරිදි දළදා මාළිගා අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බවද අදාළ සංදේශයේ වැඩිදුරටත් සඳහන්.