ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයක් පිළිබද මේ වනවිට කතා බහට ලක් වනවා.

සිසුන් සහ මව්පියන් කියා සිටියේ අටෙන් බෙදෙන ගණිත ගැටළුවක් පිළිබද එහි සදහන්ව තිබූ බවයි.

එවැනි ප්‍රශ්න පිළිබද පාසලේදී සාකච්ඡා කර නොමැති බවද ඔවුන් පවසනවා.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන්ගෙන්ද විමසීමක් කළා.

''ඔව්, ඇත්තටම මේ... ඔය කියන විදිහේ ගාණක් දෙවන ප්‍රශ්න පත්‍රය තුළ තිබුණා නම් එය කිසිසේත්ම සිදු නොවිය යුත්තක්. මොකද ඒකට හේතුව, 8න් බෙදීම සම්බන්ධයෙන් වන පාඩම තියෙන්නේ තුන්වෙනි වාරයේ පාඩමක් විදියට. එතකොට මේ තුන්වෙනි වාරයේ සෑහෙන දවසක් ගියාම තමයි ඔය පාඩම කරන්න තියෙන්නේ. එතකොට 8න් බෙදීමේ ගාණක් ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වීම තුළ විෂය මාලාව ඉක්මවා යාමක් සිද්ධ වෙනවා. මේක නොවිය යුත්තක්. ඇත්තටම වෘත්තීය සුදුසුකම් තියෙන පාසලේ ගුරුවරු දරුවන්ට කියලා දෙන්නේ 7න් බෙදීම, 7න් ගුණ කිරීම දක්වා පමණයි. මොකද හේතුව දෙවන වාරය වෙනකොට ඒක තමයි සීමාව. ඒ හින්දා 8න් බෙදීම සම්බන්ධ ගැටලුවක් ප්‍රශ්න පත්‍රයේ තිබුණා නම් එය නිසි විෂය මාලාවට අනුව කටයුතු කළ ගුරුවරුන්ටත්, දරුවන්ටත් සිද්ධ වෙන ප්‍රබලම අසාධාරණයක් බවට පත් වෙනවා.''

විෂය මාලා සීමාව ඉක්මවා එලෙස ප්‍රශ්නයක් ලබාදී ඇත්නම් එය මහත් ඛේදවාචකයක් බවයි සරත් ආනන්ද ගුරු පියාණන් වැඩිදුරටත් පැවසුවේ.

''එක පැත්තකින් මෙවර විභාගය ලියපු දරුවෝ අසාධාරණයට ලක් වෙන එක වෙනම තිබ්බත්, ඉදිරියේදී ගුරුවරු මේක පණිවිඩයක් කරගන්නවා වැරදි ආකාරයට. ඇයි? ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ලැබෙනවා නම් පස්වෙනි ශ්‍රේණියේ තුන්වෙනි වාරයත් පදනම් කරගෙන ගුරුවරු හිතනවා, දවස් 185ක්, 200ක් විතර මුළු වර්ෂය පුරා උගන්වන්න තියෙන විෂය මාලාව දවස් 120කින්, 130කින් අවසන් කළ යුතුයි කියලා. ඒක අවසානයේ මොකද වෙන්නේ? ගුරුවරුන්ටත් විශාල බරක් බවට පත් වෙනවා විෂය මාලාව හරියාකාරව ඉගැන්වීම. ඊළඟට අර අහිංසක දරුවෝ තුන්වෙනි වාරයේ ඉගෙන ගන්න තියෙන දේවල් ටිකත් දෙවෙනි වාරය වෙනකොට ඉවර කරගන්න සිද්ධ වෙනවා කියන මහා බරට ලක් වෙනවා. එතකොට මේක මේ අපේ අධ්‍යාපන පද්ධතියට, විශේෂයෙන්ම පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට වැරදි පණිවිඩයක් විභාගය තුළින්ම ලබා දීමක් වෙනවා මෙවැනි ප්‍රශ්නයක්, මෙවැනි ගාණක් ප්‍රශ්න පත්‍රය තුළ ඇතුළත් වුණා නම්. ඒ නිසා මම, මම යෝජනාවක් විදියට කරනවා මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙලා කටයුතු කිරීම වැදගත්. මොකද ඒකට හේතුව, මෙවර විභාගයේ ප්‍රශ්නයේ මේ විදිහ එකක් ලැබුණා නම් දරුවන්ට මෙවර සාධාරණයක් වෙන්න ඕනේ එක පැත්තකින්. අනෙක් පැත්තෙන්, මේ මේ සමාජයට යන වැරදි පණිවිඩය—මොකක්ද? පහ ශ්‍රේණියේ සම්පූර්ණ විෂය මාලාව, අවුරුද්දක් තුළ ඉගෙන ගන්න ඕන ටික, පාසල් වාර දෙකකින් ඉවර කරගෙන විභාගයට සූදානම් වෙන්න ඕනේ කියන වැරදි පණිවිඩය ඛේදවාචකයක් බවට පත් වෙනවා දරුවන්ට එල්ල වෙන පීඩනයක් විදියට. ඒ නිසා මේ තත්ත්වය වහාම නිවැරදි වෙන්න ඕනේ මේ කියන කතාව ඇත්තක් නම්.''

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගෙන් විමසීමක් කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් නොලැබුණද ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බවයි ඇය පැවසුවේ.

ඒ අනුව එම සිද්ධිය පිළිබද පරීක්‍ෂණ මණ්ඩලය වෙත යොමු කරන බවත් එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.

එමෙන්ම කිසිදු විටෙක විභාගයට පෙනී සිටි දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

මේ අතර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා.

සියළු මධ්‍යස්ථානවල නියමිත වේලාවලට විභාගය ආරම්භ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ, විභාග මධ්‍යස්ථාන 2,532කදීයි.

මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.