බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවේ.
''අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උතුරු මැද පළාතෙත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 50 ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා.''
මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධිවර ප්රජාවන්ගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර හැටන්, ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම මෘත ශරීර සොයාගත් බව පොලිසිය පවසනවා.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නායයෑම් තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
සිදුකළ මෙහෙයුම්වලදී පළමුවෙන් එක් කාන්තාවකගේ සිරුර සොයාගෙන තිබුණා.
පසුව තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පැවසුවේ.




