සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමිනුයි ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
පසුගිය 20 වන දින සිය දියණිය සහ පුත්රයා සුරේෂ් සලේ මහතාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් දරුවන් දෙදෙනාගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදුකර ඇති බව මනෝරි සලේ මහත්මිය පවසනවා.
එමෙන්ම මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්රය අසළ ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය වූ බවද ඇය පැවසුවා.
එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා.




