රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටියදීයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජතයින් රැසක් එම අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්ව තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.

අනතුරුව රැඳවුම් නියෝග මත සුලේෂ් සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සිය සැමියා දුර සිට බැලිමට තමන්ට සහ දරුවාට අවසර ලබා දී ඇති බවයි ඇය පවසන්නේ.

එමෙන්ම සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර විපක්‍ෂයේ අද කාර්ය භාරය වී ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීම වෙනුවෙන් පෙනී සිටිම පමණක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා මාධ්‍ය හමුවේ පැවසුවා.