හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල ‘ස්මාර්ට් කී‘ සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම ‘ස්මාර්ට් කී‘ මිලදී ගත් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 22 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, හම්බන්තොට වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

අදාළ ‘ස්මාර්ට් කී‘ අතුරුදන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් සිදුකර තිබුණා.

එහිදී අනාවරණ වූ තොරතුරු මත වරාය සේවකයා එහි ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසියට භාරදී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.