මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, වටවල, රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලය පවසනවා.

ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සීමා කර ඇති බවයි නෙත් නිව්ස් නියෝජිතයා පැවසුවේ.

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් විය යුතුයි.

මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින් වත්ත ප්‍රදේශයෙන් විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ආගරපතන ප්‍රාදේශීය සභාව, ප්‍රදේශවාසීන්, එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන්ගල කඩා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්වයට පත් වී ඇති බවද නෙත් නිව්ස් නියෝජිත රංජිත් රාජපක්ෂ සඳහන් කළා.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දින 3ක් නිවාඩු ලබා දී තිබූ හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් අද දිනයේදී හැටන් කලාපයේ පාසල්වලට ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි නෙත් නිව්ස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ පැවසුවේ.

'' මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවැති දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල් අද දින විවෘත කරනු ලැබුවා. අද දින පාසල් විවෘත කළද පාසල්වලට ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව විදුහල්පතිවරුන් කියා සිටිනවා. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් අයුරින් නොතිබීම නිසා මෙලෙස පාසල් ළමුන් සහ ආචාර්යවරුන් පැමිණීමේ අඩුවක් ඇති බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ. අද දිනයේදීද හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අධික වර්ෂාව පතිත වෙමින් පවතිනවා.''

මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නිකුත් කෙරුණු නායාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට උදෑසන නවය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ පසුගිය පැය 24 තුළ මිලිමීටර 75 ඉක්ම වූ වර්ෂාපතනයක් අදාල ප්‍රදේශවලට ලැබී ඇති බැවින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කල බවයි.

මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එලෙස නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කවිදු ලක්‍ෂාන් මහතා පැවසුවේ.

''පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.''