පසුගිය ආණ්ඩු කිහිපය පුරාවටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූණත්, වර්තමාන ආණ්ඩුව පත්ව සක්‍රීය ලෙස එම පරීක්ෂණ නිසි ආකාරයෙන් ඉදිරියට ගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා.
හිටපු පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලැබීම පිළිබඳව අදහස් දක්වමින් පියතුමන් වැඩිදුරටත් කියා සිටියේ, මෙම දඬුවම් ලබා දීම තුළින් ඉදිරියටත් මෙවැනි වැරදි සිදු නොවීමට පූර්වාදර්ශයක් ලැබෙන බවයි.
"අපි සෑහීමකට පත් වෙනවා මේ කරගෙන යන පරීක්ෂණ, නමුත් ඒ පරීක්ෂණ තව ගොඩාක් දුරට යන්නට තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ ලබන 22 වෙනිදා ඒ තීන්දුව ප්‍රකාශ කරන්නේ එක එක කණ්ඩායමකට ඒ දඬුවම් ලබා දෙන්නේ. නමුත් ඊට එහා ගිය මේ ප්‍රහාරය සම්බන්ධව තව බොහෝ දෙනෙක් ඉන්නවා නඩු නඩු දාලා ඒ ඒ පරීක්ෂණ ඉදිරියට ගෙන ගිහිල්ලා ඒ අයටත් නඩු දඬුවම් ලබා දෙන්නට ඕනා. ඉතින් ඒ 22 වෙනිදායින් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඉන් ඉන් පස්සෙත් බොහෝ අය ඉන්නවා. මොකද ඒ අයට තාමත් නඩු නඩු දාලත් නැහැ. නඩු දාන්නට මං හිතන්නේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ පරීක්ෂණ තව තවත් ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු සියලු දෙනාටම දඬුවම් ලබාදීම තුළ මේ රට සුරක්ෂිත ජනතාවාදී ජනතාවාදී රටක් බවට පත්කිරීමේ අභිලාෂයෙන් තමයි අපි හැමවේලාවේම මේ දඬුවම් සම්බන්ධව කතා කරන්නේ. ඉතින් මේ දඬුවම් ලබාදීම තුළ පූර්වාදර්ශයක් ලැබිලා මීළඟට හරි මේ දූෂිත දේශපාලන ප්‍රවාහය මේ රටෙන් අතුගා දමන්නට පුළුවන් වෙන තත්ත්වයකට ආවම තමයි මං හිතන්නේ අපේ ජනතාවට සතුටින් සාමයෙන් මේ රට තුළ ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ."
කතෝලික සභාව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී නොසිටින අතර, පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකරන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් පැවසුවා.
" කතෝලික සභාව කවදාවත් දේශපාලනීකරණය වුණේ නැහැ කිසිම හේතුවක් නිසාවත්. නමුත් අපි දැක්කා පහුගිය ආණ්ඩු කීපය පුරාවටම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව පත්වීමත් සමග අපි විශේෂයෙන් දකිනවා ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නිසියාකාරව ඉදිරියට කරගෙන යන ආකාරයක් අපි දකිනවා. ඔබ කිව්වා වගේ පහුගිය පොලිස්පතිට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට එවැන්න දඬුවමක් ලැබුණා. ඇත්තටම දඬුවම් ලබා දෙන්නට ඕනේ ඔවුන්ට වගේම මෙයින් ඉදිරියටත් මෙවැන්න වැරදි නොකරන්නට පූර්වාදර්ශයක් ලබාදීම වෙනුවෙන්. ඉතින් ඒක නිසා අපි සන්තෝෂ වෙනවා එම දඬුවම් ලබාදීම සම්බන්ධයෙන්. හෘදයට ස්තූතිවන්ත වෙනවා."




