තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම සලකා බැලීම සිදු වුණා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

විශේෂයෙන්ම මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් එම මූලික විරෝධතා මතු කරන බවයි ඇය කියා සිටියේ.

ඉන් අනතුරුව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා කොමිෂන් සභා හා පරීක්ෂණ  කමිටු කිහිපයක්ම පත්කළ බවයි.

විජිත් මළල්ගොඩ කමිටුව, ජනක් ද සිල්වා කොමිසම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, ජයකි ද අල්විස් කමිටුව යනාදී විමර්ශන කමිටු විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සොයා බැලූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින්ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පැවසුවා.

එම විමර්ශන කොමිෂන් සභා සහ කමිටුවලින් සිදු කළ කිසිදු විමර්ශනයකදී මෙම පාස්කු ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැති බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

සිය සේවා දායකයා 2019 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස 30 වනදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බව ඔහු පැවසුවා.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිය සේවා දායකයා ශ්‍රී ලංකාවේ නොසිටි බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවත් පැවසුවා.

අසාද් මවුලානා නැමැති පුද්ගලයා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහලට දුෂිත බවට   ප්‍රකාශ කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයි? දැයි ප්‍රශ්න කළා.

මෙවැනි පුද්ගලයින් සාක්ෂිකරුවන් වශයෙන් යොදාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය  සේවාදායකයා සිර කිරීමට උත්සාහ කරන බව කී ජනාධිපති නීතිඥවරයා 2016 වසරේ  නොවැම්බර් මස 18 වනදා පැවති අයවැය විවාදයේදී එවක අධිකරණ අමාතය විජයදාස රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් තිස් දෙදෙනෙකු සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඇති බව අනාවරණය කළ බව කියා සිටියා.

ඊට අමතරව අත්අඩංගුවේ පසුවන සිය සේවාදායකයා ද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී පවා කරුණු කී බව සඳහන් කළා.

ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙවැනි අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොවූ බව චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඒ වෙනුවට බලධාරීන් සිදුකර තිබෙන්නේ පණිවිඩකරුට වෙඩි තැබීම පමණක් බවයි කියා සිටියේ.

ඉන් අනතුරුව වැඩිදුර  කරුණු දක්වීම් ජුනි මස 04 වනදා සිදු කිරීමටද අධිකරණය තීන්දු කළා.

එම අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්  අත්අඩංගුවේ පසුවන සිය සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ කුඩා කාමරයක රඳවා තිබෙන බව පැවසුවා.

එම ස්ථානය මිනිස් වාසයට නුසුදුසු බවත් එහි ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම්වත් නැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවත් පැවසුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහාරශී හේරත් මහත්මිය කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පැරණි ගොඩනැගිල්ලක් බවත් එහි නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීම අවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නා.