අතුරුදන්ව වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඒ, මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ දිනයේ බදුල්ල ශික්‍ෂණ රෝහලේ සේවයට වාර්තා කර නැහැ.

ඔහුගේ ජංගම දුරකතනය ද අක්‍රීය වී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදි එම නිර්විදන විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටර් රථය මහියංගණය දෙසට ධාවනය කර ඇති බවට අනාවරණ වූ බව මහියංගණය පොලීසිය පැවසුවා.

එම මෝටර් රථයෙන් විශේෂඥ වෛද්‍යවරයා ගමන් කරමින් සිටින දර්ශන මීගහකිවුල ප්‍රදේශයේ සී සී ටී වී කැමරාවක ද සටහන්ව තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශන හමුවේ ඔහුගේ මෝටර් රථය බදුල්ල - මහියංගණය මාර්ගයේ 17 කනුව, මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි මහියංගණය පොලීසිය පැවසුවේ.

ඒ පිළිබද සිදුකළ තවදුරටත් සොයා බැලිමේදී අතුරුදන්ව සිටි එම නිර්විදන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මෝටර් රථය නවතා තිබූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් වූ කැළෑබද ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

49 හැවිරිදියේ පසු වූ එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් මහියංගණය පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.