අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව, විෂයයන් 7ක් දක්වා විෂයන් ගණන අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණය වුණා.

12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමට ද මෙහිදී සැලසුම් කර ඇති බව සඳහන් වනවා.

2027 වසරේ සිට ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සාකච්ඡා කෙරුණු මෙම රැස්වීමේදී, එහි ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, නව ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මීට අමතරව, පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, ලියාපදිංචි කිරීම්, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සැකසීම මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව එහිදී වැඩිදුරටත් අනාවරණය වන්නේ.