ශ්‍රී පාද අවාරයේදි ශ්‍රී පාදස්ථානය සංචාරය සදහා පැමිණෙන ඇතැම් සංචාරකයන් ශ්‍රී පාද මාවතේ පරිසරයට සහ පොදු දේපල වලට දැඩි ලෙස හානි කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

එම සංචාරකයන්ගෙන් වනජීවි දෙපාර්තමේන්තුව මුදල් අය කර ප්‍රවේශපත් නිකුත් කිරීම හේතුවෙන් සිදුවන හානියට කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි වී ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

2026-2027 වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදි පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් මෙම අදහස් පළ කළා.

"මේ වනජීවී, වන සම්පත් ඒ මහත්තුරු මේකට මුදල් අරගෙන ඒගොල්ලන්ට යන්න සලස්වලා තියෙනවා. එතකොට කාටවත් මේ ගැන කතා කරන්න ඉඩකඩක් නෑ. අපි මේ මුදල් ගෙවලයි උඩට යන්නේ. පහසුකම් සලසන්නේ නෑ, මුදලක් ගන්න එක විතරයි කරන්නේ. මේ ඇත්තන්ට වනජීවී එක තියෙන්නේ සීත ගඟුලට උඩහා විතරයි. ඒ හරියේ තමයි කඩ එහෙම වෙන්දේසියේ දෙන්නෙත්. අනිත් හරියේ වනජීවී නෑ. නමුත් වනජීවී කාර්යාලය මෙතන තියෙන්නේ, ඕක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කාර්යාලය ළඟ ඉඳලම යන මිනිස්සුන්ගෙන් ටිකට් කඩලා පිටත් කරනවා. මේ ශ්‍රීපාද මාවත කාටවත් අයිති නෑ. ඒක මහජනයාගේ මුළු ලෝකයේම මිනිසුන්ගේ මාවතක්. පලාබද්දල මාවතත් මේ මාවතත්, ඒක වනජීවී මාවතක් එහෙම නෙවෙයි. ඒක පුදබිමකට යන මාවතක්. මේ ඇත්තන්ට ගැසට් නිවේදනයක් හෝ මොන හරි ලේඛනයක් තියෙන්නේ ඒ පාරෙන් වනාන්තරයට ඇතුල් වෙන මංමාවත් වල, මංපෙත් වලට තමයි මේ අවසර දීම හෝ මුදල් ගැනීම හෝ සිදු කිරීමේ බලය තියෙන්නේ. නමුත් මේ මහ පාරට, සිරීපාදේ යන පාරට මේ ඇත්තෝ අරගෙන තියෙනවා. මට එක්කෙනෙක් කිව්වා රුපියල් දොළොස් දාහක ටිකට් එකක් දුන්නයි කියලා විදේශිකයෝ දෙන්නෙකුට. ඉතින් ඒවා අපි දන්නෑ මොන නීතියකින් කරනවද කියලා. ඉතින් ඒ ගැන බලන්න ඕන."

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්.
"ලබන අවසන් වීමේ රැස්වීමට කලින් තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් සලසා දෙන්නේ කියලා මේ තොරණ ළඟ ඉඳලා උඩ මළුව දක්වා ශ්‍රීපාද මාවතේ දෙපැත්තට අඩි 20 20, තනිකරම 40ක ප්‍රමාණයක් මළුවට යනකම්ම මහජනයා වෙනුවෙන් පුදබිමට වෙන් කරගෙන අපි ඒ පූජා භූමියක් වශයෙන් නම් කරලා තියෙනවා. තවම ගැසට් වුණේ නැති නම් ඒ ගැසට් එක ඇති කරලා ඒ ලබන අවසන් වෙන වන්දනා වාරයට පෙර රැස්වීමේදී අපිට ලබා දුන්නත් හොඳයි කියලා ඔබතුමාට සිහිපත් කරන්න මම අදහස් කළා. මොකද මේ මෙච්චර කල් ඒක තිබුණා පූජා භූමියක් හැටියට නම් කළා, නමුත් මේක ගැසට් වුණාද නැද්ද කියන එක ගැන මට දැනීමක් නෑ."

2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 23 වනදාට යෙදි ඇති උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ අවාරයෙ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් 21 දින පස්වරුවේ පිටතට වැඩමවනු ලබනවා.

ඉන් අනතුරුව සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් 22 දින පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට බලංගොඩ, රත්නපුර පලාබද්දර රජ මාවත, කුරුවිට එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් යන මාර්ගය ඔස්සේ පෙරහැරවල් 04කින් ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව උදුවප් පොහෝදින අලුයම ශ්‍රී පාද උඩ මළුවේ දී පුරාණ චාරිත්‍ර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව 2026-2027 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කෙරෙනවා.