ආයුබෝවන්ට ආරක්සක ඇමතිතුමා,

මේ රට රාජ්ජ වල යුද්ධ අස්සේ ඕං මුන්දැලත් වද දෙනවා කියලා විස්සෝප වෙන්ට කාරිනෑ.
අපේ හීං එකා ඒරොප්පේ යන්ට තනනවා නෙව. ඒකාට වගාවක් කරගෙන ගමට වෙලා ඉන්ට බැහැයි කියනවා. ඉතිං පහුගිය දොහේම කොළඹ ඔන්න ඔය ඔෆිසි⁣වල මහත්තැන්ලා හම්බ වෙන්ටත් ගියා. ඒ මහත්තැන්ලා කිව්වාලු ඕං පොලෝසියේ රිපෝට් එකක් අරන් එන්ට කියලා .
ඒක ගන්ට යන්ට කියලා මයෙනුත් සල්ලි කීයක් හරි ඉල්ලුවාම මාත් අතේ තිබුණ රුපියල් පන්සීය දුන්නා ඕං. ඒකා අතේ කීයක් වත් නෑ මයෙ හිතේ නැත්තං මගෙන් ඉල්ලන එකෙක් නෙවෙයි නෙව.
කොහොම හරි ඕං බස් එකෙත් ගිහින් අතේ ඉතුරු වුණ සොච්චමත් තියාගෙන හසලක පොලෝසියට යනකොටම හිටිය රාළහාමි උන්නැහැ විටක් අරං එන්ට කිව්වාලු. ඒකත් ගෙනත් දීලා, ඇතුළට ගියාම ටිකක් ඉන්ට කියලා රිපෝට් ලියන මහත්තයා තේ එකක් බොන්ට ගිහින් කියලා, අනිත් මහත්තැන්ලා නෝනලා නම් මොන මොනවද වගයක් කියව කියව හිටියාලු, රාජකාරි දෙයක් වෙන්ටැයි.

ඕං ඔහොම ඉන්කොට අර උන්නැහේ ඇවිල්ලා හරිබරි ගැහිලා වාඩි වෙලා අපේ හීං එකාට එන්ට කියලා සිකරට්ටු දෙකක් ගෙනත් දෙන්නැයි කියලා, ආයේ ඉතිං බෑ කියන්ටැයි ඒ ගමන් ඒකත් ගෙනත් දීලා වැඩේ කරගෙන එලිය⁣ට ආවලු ඊට පස්සේ හීං එකා අතේ බස් එකේ එන්ට සල්ලිත් නැතුව පයින් ටිකක් දුර ඇවිත් මගදි ගමේ එකෙක් හම්බුවෙලා බයික් එකක තමා ඕං ඇවිත් තියෙන්නේ.

ආව වෙලේ ඉදං එකාගෙන් වදේ මේ සන්තෑසිය ඔය උන්නැහේට ලියලා යවන්ටැයි කියලා ඒත් මං කිවවා ඕක මේ පොලෝසියේ විතරක් නෙමෙයි හැම තැනම වෙන දෙයක් නෙව පාඩුවේ ඉදිං කියලා, ඒකා කියනවා මේ අපේ රජයක්ය, අපේ රජයටය මේවගෙන් කථා අහන්ට වෙන්නේ ඒ හින්දා ඔය උන්නැහැට කියන්ටමයි කියලා.
පොලෝසියේ ඇත්තන්ට කියන්ට ඕං ඔය වැඩේ නවත්තන්ට කියලා ඔය උන්නැහැට වැඩ රාජකාරි බොහොමයි නෙව ආරක්සක ලේකම් මහත්තැන්ට කියලා හරි ඕං ඕක නතර කොරලා දැම්මනම් තමා හොඳ ඕං.

පොලොසියේ මහත්තුරුන්ටත් අගතියක් කරන්ට එපා මොකද ඉස්සර වගේ දැන් කීය කීය හරි හම්බෙන්නෙත් නෑ නෙව. ඒක හින්දා ඔය වගේ ගන්න ඒ මහත්තුරුන්ට ඔය උන්නැහැට පුලුවන්නම් සමෘද්ධිය හරි අස්වැසුම වගේ එකක්වත් හදලා දෙන්ට, පව් නෙව තේ එකක් වත් බොන්ට විදිහක් නැතුව ඇති නෙව

එහෙනං ඕං ඔය වැඩේ පොඩ්ඩක් අපේ හීං එකා වෙනුවෙන් බලන්ට උන්නැහේ.

යටියා..