වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අදාළ වෑන් රථය පැහැරගෙන යන බවට එහි හිමිකරු විසින් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට ඒ පිළිබද දැනුම් දි තිබෙනවා.

එහිදී අදාළ නිලධාරීන් විසින් වෑන් රථය නතර කිරීමට කටයුතු කළද, එය නොනවත්වා ධාවනය කිරීමට සැකකරුවන් කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් වෑන් රථය පසුපස හඹාගිය නිලධාරීන්, එය ඇහැළියගොඩ පරකඩුව අඟරුවංගුව ප්‍රදේශයේදී නතර කරගැනීමට සමත් වූ බවයි පොලීසිය පැවසුවේ.

එම අවස්ථාවේ එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, තවත් සැකකරුවෙකු පොලිසියට පහරදී පළායාමට උත්සහ කිරීමේදී ඔහු පාලනය කිරීම සදහා සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා තිබෙනවා.