ඉන්දියානු සාගරයේ බණ්ඩා මුහුදු ප්‍රදේශයේ (Banda Sea) අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ අද අලුයම 02.41 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

රිච්ටර් මාපකයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති අතර එහි ගැඹුර කිලෝමීටර් 20 ක් ලෙස සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.