එල්-නීිනෝ තත්ත්වය හමුවේ සිය වගා කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් හදුන්වාදී නැතැයි ගොවීන් චෝදනා කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඇතැම් ප්‍රදේශවල මේ වනවිටත් වගාවන් හානි වී ඇති බවයි රජරට පොදුජන ගොවි එකමුතුවේ සභාපති කේ විජේවීර මහතා පැවසුවේ.

"අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, විලච්චියේ, එහා කෙළවරේ සඳමල්එලිය වැනි ගම්මානවලට ගිහිල්ලා බලන්න, අද වෙනකොට ඒ මිනිස්සුන්ගේ කොමඩු කොටුව, මිරිස් කොටුව, ඒ වගේම එළවළු කොටුව දැන් මැරෙමින් පවතිනවා. වී වගාවෙත් අන්න විලච්චියේ කෑල්ලක ගොයම් මැරෙනවා. දැන්මම එල්නිනෝ තත්ත්වය උදා වෙලා භූගත ජලය හිඳී ගිහිල්ලා තව ටික දවසකින් ඒ මිනිස්සුන්ට බොන්න වතුරත් නැති වෙන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. අද කොමඩු කොටුව මැරුණ නිසා, වීවල වගාව මැරුණ නිසා එන්න මාත් එක්ක යන්න! කෘෂිකර්ම ඇමතිතුමෝ සඳමල්එලියට, විලච්චියට, තන්තිරිමලයට! අද ගොවි මහත්වරු අඬනවා තමන්ගේ දරුවන්ට තුන්වේල කන්න දෙන්න නැතුව. තුන්වේල කන්න දෙන්න විදියක් නැතුව අඬන මිනිස්සු පෙන්නන්න එන්න මාත් එක්ක යන්න! ගොල්ලෝ මාධ්‍ය ඉස්සරහා බොරු සංදර්ශන දැම්මට වැඩක් නැහැ. මිනිස්සු බඩගින්නේ ඉන්නේ මහත්තයෝ! මිනිස්සු බඩගින්නේ ඉන්නේ. ඔයාලට වැඩපිළිවෙලක් නැහැ. අර දිට්ඨා සුලිකුණාටුව එනවා කියලා අනාවැකි පළ කරලා තියෙද්දී ඒ පිළිබඳ ක්‍රියාමාර්ග නොගෙන ඉඳගෙන, රටට වෙච්ච වින්නැහිය වගේ දස දහස් ගුණයක වින්නැහියක් දැන් වෙන්න නියමිතයි!"

මේ අතර එල් - නීනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ද අදහස් පළ කළා.

"ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය අරුණි අබේසේකර, මමත් - ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන - ආචාර්ය ශිරෝමණී ජයවර්ධනත් එක්ක කරපු පර්යේෂණවල අපිට දක්නට ලැබුණේ, එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන හැම අවස්ථාවකම ඉන්දියානු සාගර ද්වීධ්‍රව කලාපය නම් වූ තත්ත්වය ධනාත්මක වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි දැන් ඉන්නේ යල කන්නේ අවසාන භාගයට ගිහිල්ලා. ඉතා ප්‍රබල වියළි තත්ත්වයන් ඇති වෙලා තියෙන බවටත් වාර්තා පැමිණිලා තියෙන හින්දා, අපි ඊළඟට හිතන්න ඕනේ මෙයින් පස්සේ ඇති වෙන මහ කන්නය ගැනත්. මහ කන්නය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස දෙක තුළ තමයි අපිට වැඩිපුරම සංවහන වැස්සෙන් ලැබෙන වර්ෂාපතනය ලැබෙන්නේ. මෙම සංවහන වැස්සෙන් ලැබෙන වර්ෂාපතනය එල්නිනෝ තත්ත්වය මත ඉන්දියානු සාගර ද්වීධ්‍රව කලාපය ධනාත්මක වීම තුළින් ඉතාම දැඩි වර්ෂාපතනයක් බවට පත් වෙන්නට ඉඩකඩ වැඩියි. සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතිනවා."

කෙසේවෙතත් මේ වනවිට මහවැලි පද්ධතියට අදාළ කිසිදු ජලාශයක් සිදී ගොස් නොමැති බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පැවසුවේ. එහෙත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියේ.

අපි ගත්තොත් එහෙම මේ යල කන්න ඉවර වෙනකොට මේ වගේ එල්නිනෝ තත්ත්වයක්, නැත්නම් මේ වගේ හොඳ වියළි කාලගුණයක් තියෙද්දීත් අපි යල කන්න ඉවර වෙනකොට හොඳ සමස්ත ජල ධාරිතාවයක් තියෙනවා මේ වෙනකොට. මේ වෙනකොට මහවැලි පද්ධතිය අදාලව කිසිම ජලාශයක් සිඳී ගිහිල්ලා නැහැ. වෙන අවුරුදුවලට සාපේක්ෂව හොඳ වතුර තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා. නමුත් අපතේ දාන එක අඩු කරන්න ඕනේ. අපි ගත්තොත්... අපි ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන... අපි හිටපු ගමන් වාහන හෝදන්න පාවිච්චි කරනවා, ඒ වාගේම සමහර වෙලාවට සමහර අය වගාවට දාන්න බලනවා, සමහර වෙලාවට මල් පැළවලට අරෙහෙ මෙහෙ දානවා... මොකද ඒක අපි ලොකු වියදමක් කරලා පිරිපහදු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ පිරිපහදු කරන්නත් විදුලිය ඕනේ. අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කළොත් අපිට විදුලියත් ඉතුරු කරන්න පුළුවන්, ජලයත් ඉතුරු කරන්න පුළුවන්."