ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ඩ් නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාල නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පැවසුවා.

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බවත් පොලිසිය සඳහන් කළා.

එමෙන්ම ගනේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන්ද ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බව පෙන්වා දුන් පොලිසිය මේ තුළින් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් පැවසුවා.

ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමුවූ බවත් ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලීසිය සඳහන් කළා.

ඊට අමතරව මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියා.

මෙහිදී සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සිය සේවා දායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව පැවසුවා.

නමුත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.

ඉන් අනතුරුව මෙම පැමිණල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.