හුංගම ප්‍රදේශයේදී ”කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව අද දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඒ, ඩුබායි රාජ්‍යයේ සිටයි. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ ”කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඝාතනයට ලක්වන අවස්ථාව වන විට ”කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවට අනාවරණ කර ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් තිබුණා.

ඒ අනුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.