බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (35-45) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලීමක් ද කළා.

මේ අතර අද උදෑසන 6 න් අවසන් වූ පැය 22ක තුළ මිලිමීටර් 312ක වැඩිම වර්ෂාපතනය කිරිවැල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

එමෙන්ම පරකඩුව ප්‍රදේශයෙන් මිලි මීටර් 299 ක් සහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 272 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.