රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ඔහු එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඔහු විශේෂ ඝනයේ අපරාධකරුවන් රදවා තැබෙන කොටසේ රදවා ඇති බවයි වාර්ති වුණේ.

ඔහු එහි තනි සිරමැදිරියක රදවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවා.

කෙසේවෙතත් ඉදිරියේදී කෙහෙල්බද්දර පත්මේ වෙනත් බන්ධනාගාරයක රැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි කෙහෙල්බද්දර පද්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත්  කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එහිදී නියෝග කළේ එම සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් මෙම සැකකරු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රදවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රදවා තැබීමට පියවර ගන්නා ලෙසටයි.