සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව දේශීය මට්ටමේ ක්‍රිකට් තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා කැඳවීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

එමෙන්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳවද අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා පවත්වන ලද ශරීරික යෝග්‍යතා පරීක්ෂණය ඉහලින් සමත් ක්‍රීඩකයින් පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම තරගවලියේ පළමු එක්දින තරගය ජුනි මස 03 වනදා සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවන සහ තුන්වන එක්දින තරග ජුනි 06 සහ 08 යන දිනයන්වලදී එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ජුනි 11 වනදා ආරම්භ වන අතර තරග තුනකින් යුත් එම තරගාවලියේ දෙවන සහ තුනවන තරග ජුනි 13 සහ 14 යන දිනයන්වල දී පැවැත්වෙනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට නියමිතව ඇත්තේ ජුනි 25 වනදායි.

දෙවන ටෙස්ට් තරගය ජූලි 03 වනදා ආරම්භවීමට නියමිතයි.