සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

එම නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරු මත සිදුකළ පරීක්‍ෂාවකදී එම මළසිරුර සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 79 ක් වූ කාන්තාවකගේ මළසිරුරක්.

ඇය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, සිදුකළ පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මෝදර උයන මහල් නිවාස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහුගේ වයස අවුරුදු 31 ක්.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුව සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර රත්නපුර, වෙරළුගහපිටිය ප්‍රදේශයේ කළුගගේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මෘත ශරීරයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහුගේ අන්‍යතාව තහවුරු වී නැහැ.

මරණකරු අවුරුදු 45 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රත්නපුර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.