ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් අද ඉල්ලූ සාකච්ඡාව නොලැබුණු බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වු බවයි.

එවන් පසුබිමක් තුළ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සිය ගැටළුව සාකච්ඡා කිරීමට අද දිනයේ අවස්ථාවක් හිමි නොවූ බවද ඔහු කියාසිටියා.

ගාස්තු වැඩිවිමක් ලබානොදුන හොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

ඩීසල් මිල ඉහළ යාම හමුවේ බස් කර්මාන්තය තවදුරටත් පාඩු ලබමින් පවත්වාගෙන යාමට නොහැකි බවද බස් සංගම් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ වනවිටත් සියයට 25ක පමණ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

ඩීසල් මිල ඉහළ යාම හමුවේ තමන්ට බස් ගාස්තු සංශෝධනයක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී ධාවනය නොවන බස් රථ ප්‍රමාණය සියයට 50 ක් දක්වා වැඩි විය හැකි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.