පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, පොළොන්නරුව දීප උයන පරිශ්රයේදීයි. ‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි‘ මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව එය පැවැත්වෙනවා.
මේ අතර ආණ්ඩුවේ මහජන රැළි මාලාව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පවත්වන රැළිය සම්බන්ධයෙන් අමාත්‍ය උපාලි පන්නිල මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
අමාත්‍ය උපාලි පන්නිල මහතා : "ජනාධිපතිවරණය පවත්වල සැප්තැම්බර් මාසේ 21 වෙනිදට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිති කරගෙන ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම මහජන රැලිය තියලා ජනතාවට කරුණු කීම සඳහා අපි සංවිධානය වෙලා මේ දවස්වල ඒ වැඩකටයුතුත් කරගෙන යනවා."
මාධ්‍යවේදියා: "දැන් අනුරාධපුරයේ රැලිය නවත්තන්න නාමල් ඇතුළට දැම්මා කියලා තමයි පොදුජන පෙරමුණ කියන්නේ?"
අමාත්‍ය උපාලි පන්නිල මහතා : "රැලිය නවත්තන්න ඉතින් කවුරුවත් ඇතුළට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපිට මොකටද ඔය පොඩි පොඩි කණ්ඩායම්වල සුළු සුළු රැලි ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. අපි අවධානය යොමු කරන්නේ ජාතික ජන බලවේගය සංවිධානය කරන මහා රැලි පිළිබඳව. ඔබ දකින්න ඇති ජනතාව කොයි තරම් දහස් ගණනින් දස දහස් ගණනින් ජාතික ජන බලවේගයේ ඒ රැලිවලට සහභාගී වෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරනවා. අනෙක් කුඩා කුඩා කණ්ඩායම් සංවිධානය කරන ඒ වගේ සංවිධාන පිළිබඳව රැලි පිළිබඳව අපේ අවධානයක් නැහැ."
මාධ්‍යවේදියා: "ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එහෙම ලේසියෙන් බය කරන්න හැකියාවක් නැහැ?"
අමාත්‍ය උපාලි පන්නිල මහතා : "අපි හැමදාම ජනතාවත් එක්ක ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා අපි හැමදාම ජනතාව ළඟට යනවා. අපි සංවිධානය වෙනවා. ඒ වගේම රැස්වීම් තියෙනවා. ඒ වගේම මේ වගේ කුඩා මට්ටමෙත්, මධ්‍යම පරිමාණයේත්, ඒ වගේම විශාල මට්ටමෙත් රැලි පවත්වමින් ජනතාවත් එක්ක ඉන්නවා. ජනතාව මත තමයි ආණ්ඩුව තියෙන්නේ. ඒ නිසා ජනතාවත් එක්ක ඉන්න එක, ජනතාවත් එක්ක සාකච්ඡා කරන එක, ජන රැලි සංවිධානය කිරීම අපේ ඉතිහාසය පුරාම අපි සිදු කරන දෙයක්. ඉදිරියටත් අපි ඒක කරනවා."
මාධ්‍යවේදියා: "බය වෙලා නෙමෙයි?"
අමාත්‍ය උපාලි පන්නිල මහතා : "කිසිදු ආකාරයකින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බය කරන්න බැහැ කිසි කෙනෙකුට."




