සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුව සකස් කරන අවසන් වාර්තාව මේ සතියේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදිමට නියමිත බව වාර්තා වනවා.

සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පසුගිය දින කිහිපය තුළදිම අවස්ථා කිහිපයකදි රැස්වුණා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන්ගෙන් එම කමිටුව සමන්විතයි.

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුම ඇන්දවීම සමඟ ඇතිවූ විරෝධයත් සමඟ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය 08 වනදා පැවති සාකච්ඡාවේදීයි මෙම කමිටුව පත් කෙරුණේ.